Sunday, January 18, 2009

වයඹ-මධ්‍යම උණුසුම

මේ දිනවල දේශපාලන ලෝක‍යේ කරළියට පැමිණ ඇත්තේ වයඹත් මධ්‍යමත් මැතිවරණය යි. ඒ සමඟ ම දැන් රජයේ නාලිකාවල අලුත් ම ප්‍රවෘත්තීන් බවට (අලුත් ම කීවාට අලුත් ම නො වේ. පසුගිය සබරගමු හා උතුරු මැද මැතිවරණවලත් මේ සෙල්ලම තිබුණි.) පත් වී ඇත්තේ අහවල් පක්ෂයේ අය මෙච්චර ප්‍රමාණයක් රජයට සහය දක්වනු වස් සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත් බව පුන පුනා පැවසීම ය. ඔවුන්ගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශ කිහිපයේ ම සමස්ත සාරාංශය ගත් කළ එහි අඩංගු වන්නේ ඉහත කී ප්‍රවෘත්තිය ම ය. මට බොහෝ අවස්ථාවල රූපවාහිනයේ (ජාතික නාලිකාවේ නොවේ) ප්‍රවෘත්ති බැලීමට අවස්ථාවක් නොමැත. නිරන්තරයෙන් මා රටතොට තොරතුරු දැන ගන්නේ අන්තර්ජාලයෙන් හෝ පුවත් පත්වලින් ය. නමුත් පසුගිය දින කිහිපයේ ම මට රජයේ මාධ්‍යවල ප්‍රවෘත්ති බැලීමට අවස්ථාවන් උදා විය. ප්‍රවෘත්ති බැලුවේ දින දෙක තුනක් පමණි, ඒවායේ ප්‍රවෘත්ති බැලීම මට නීරස විය. ඒ මම දේශද්‍රෝහියෙකු නිසා ය යි ඇතැමෙකු කියනු ඇත. නමුත් ඇත්ත කාරණය නම් ඒවායේ දිනපතා ම ප්‍රකාශ වන්නේ එක ම අච්චුවේ ප්‍රවෘත්ති වීම ය. දිනක් පාසා ම, පසුගිය දිනයේ කියූ කරුණු අකුරක් දෙකක් වෙනස් කර ඒ පැරණි ප්‍රවෘත්ති ම ඒවායේ නිවේදක නිවේදිකාවෝ රස කර කර කියති. ඇත්තෙන් ම ප්‍රවෘත්ති ප්‍රකාශ දෙක තුනකින් ම මම බොහෝ සේ වෙහෙසට පත් වුණෙමි.

සබරගමු-උතුරු මැද මැතිවරණ කාලයේත් අවාසනාවකට‍ දෝ මට රාජ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති බැලීමට හැකි විය. ඒවායේ නිතිපතා ම කියැවුණේ අසවල් පක්ෂයෙන් සෙනඟ සන්ධානයට එක් වූ බව යි. මා කියන්නේ එසේ එක් වීම තහනම් කළ යුතු බව නො වේ. නමුත් හැම දා මෙසේ එක් වනවා ය යි කියූ පිරිස සංඛ්‍යාත්මක ව ගෙන බැලූ විට උතුරු මැද හා සබරගමුව පළාත් දෙකක් නො ව රටවල් දෙකක් යයි හැ‍ඟෙන තරමට ම සෙනඟ පිල් මාරු කර තිබුණි. ඇත්තට ම මෙසේ සෙනඟ එක් වනවා දැ යි මැතිවරණය අවසානයේ ලබා ගන්නා ඡන්දවලින් සොයා බැලීම වෙන ම කළ යුතු කාරණයකි.


මේ වන විටත් මධ්‍යමින් වයඹින් සෙනඟ ගංගාවන් මෙන් සන්ධානයට එක් වෙති යි රජයේ මාධ්‍ය රස කරමින් වාර්තා කරයි. ඒ මදිවාට ප්‍රාදේශීය සභා සභාපතිවරු පවා පිල් මාරු කරති. මේ පාරත් මේ පළාත් දෙක තවත් රටවල් දෙකක් ය යි හැ‍ඟෙන තරමට ම මේ ප්‍රවෘත්තිය රජයේ මාධ්‍යවල ප්‍රචාරය නො වුනහොත් පුදුම ය. (ඉබ්බා දියේ දැම්මා ම ඇන්නාවේ කිව්වාක් මෙන් අපේ විමල් වීරවංශ මැතිතුමාගේ පෙරමුණ ද හණි හණික සාටකයේ එල්ලුණේ ය.) පුදුමය නම් මෙසේ දිනපතා එක්වන ජනතාවට හා දේශපාලන නායකයන්ට රජයට සහය දැක්වීමට මතක් වන්නේ මැතිවරණයක් ළඟ එන විට ය. ජනතාව රජයේ ජය තහවුරු කරනු පිණිස ද දේශපාලන නායකයෝ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට ද දිනපතා ම සන්ධානයට එක් වෙති.(දේශපාලනඥයෝ එ‍ සේ එක් වන්නේ ජනාධිපතිතුමාගේ ද නො සේ නම් තම තමන්ගේ ම දෑත් ශක්තිමත් කර ගැනීම පිණිස ද යන්න වෙන ම කාරණයකි.)

තත්ත්වය මෙසේ නම් සැබවින් ම මැතිවරණයක් වුවමනා නො වේ. රජය දැනට මත් මැතිවරණය දිනා ඇත. මැතිවරණ පැවැත්වීමට කෝටි ගණනක් වියදම් කිරීමට දැන් කිසි දු අවශ්‍යතාවක් නොමැත. ඒ මුදල්වලින් ජනතාවට සහන රැසක් සලසා දීමට හැකි ය. මේ මඟින් වර්තමාන ආණ්ඩුව සාර්ථක ආර්ථික කළමනාකරණ හෝඩුවාවක් සොයා ගෙන ඇත. එ නම්, තවදුරටත් කෝටි ගණන් වියදම් කරමින් මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නො වේ. ඒ සඳහා කළ යුත්තේ දිනපතා කුඩා උත්සව පවත්වා රජයේ ජය තහවුරු කරනු වස් ජනතාවට රජයේ සාමාජිකත්වය ලබා දීම ය. මෙ සේ දිනපතා එකතු වන රජයට එකතු වන ජනතාව කො පමණ දැ යි බැලීමෙන් රජය ඡන්ද කො පමණ ප්‍රමාණයකින් ජය ලබනවා ද යන්න (මේ මඟින් රජය කවදා වත් පරාජය වන්නේ නැත.) පහසුවෙන් ම සොයා ගත හැක. මෙ වන් විසිළු පුවත් මා උපන් තේකට ඇසුවා ම ය. රජය යුද්ධය නැමැති ලණුව හොඳ හැටි අපට ගිල්ලවති.

මේ අවස්ථාවේ විපක්ෂය ගැන නම් කිව යුතු ව ඇත්තේ එක ම දෙයකි. ඒ, ඔවුන් ද රජයේ විසිළු නාටකයට නො දෙවෙනි ලෙස තම නාටකය රඟ දක්වන බව පමණකි. ඔවුහු එක ම විසිළුවක් හෙවත් ජෝක් එකක් බවට පත් වූයේ අද ඊයේ නො වේ.

ඇත්තෙන් මේ මො‍හොතේ ජනතාව රජය හා එක් වනවා නම් හොඳ ය. මගේ අදහස මෙසේ ජනතාව රජයට එක් වන එක තහනම් කළ යතු බව හෝ එය දුෂ්ට ක්‍රියාවක් බව උපුටා දැක්විය යුතු බව නො වේ. මේ මොහොතේ රජයට සහය දැක්විය යුතු ය. දේශපාලනඥයින් ද එසේ එක් වන එක යහපත් ය. නමුත් ,ඒ යුද්ධයේ නාමයෙන් සිදුවන හොර-මැරකම්වල නිරුවත වසා ගැනීමට නො වන බැව් පෑන පොළවේ ගසා කියා සිටින්නෙමි.

Thursday, January 8, 2009

EnSiTip ගැන දන්නවාද?


EnSiTip යනු ගිනි නරියා (Mozilla Firefox) සමඟ භාවිතා කළ හැකි සුවිශේෂී add - on එකකි. මෙය ස්ථාපනය කර ගත් පසු ඔබ මූසික දර්ශකය තබන ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම බලා ගත හැක. මේ සඳහා එහි ගිණුමක් අවශ්‍ය වන අතර එය නොමිලේ ම සදා ගත හැක. සිංහල ගිනි නරියා (Firefox) මෙන් ම මෙය ද අලුත් අත්දැකීමක් බවට පත් වනු නිසැක ය. මෙය ලබා ගැනීම සඳහා මෙ තැන ඔබන්න.

Wednesday, January 7, 2009

සිංහලෙන් බ්ලොග් ලිවීම

සිංහල බ්ලොග් ගැන මට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. අපේ මේ කුඩා දිවයිනේ ලියන්නට දක්ෂතා ඇත්‍තවුන්ගේ ප්‍රමාණය මෙන් ම ලොව නන් දෙසින් වන සිදුවීම් පිළිබඳ ජනයාගේ අවධානයේ ප්‍රමාණය දැන ගැන්මට මේ සිංහල බ්ලොග් සටහන් කියවීම ම සෑහේ.

Tuesday, January 6, 2009

කොහොම ද!

ආයුබෝවන්! මේ මගේ පළමු බ්ලොග් අඩවිය යි. මගේ අදහස් බෙදා හදා ගෙන අනෙක් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මගේ අරමුණ යි.